අම්මා...
හරි පුදුම චරිතයක්...
ඉපදුනු දවසෙ ඉඳලා
එකටම ඉඳලත්,..
අම්මගෙ ආදරේ ගැඹුර
තේරුම් ගන්න බැරි හැටි...!
සීමාවල් නැති ඒ ආදරේ බර
හිතාගන්නත් බැරි තරං...
අවුරුදු 21 ක් ගෙවිලත්
අම්මට මාව පොඩි එකෙක් වගේලු
අදටත්, "චූටි පුතේ" කියලා මට කතා කරන්නේ
ඒ පුරුද්දටම වෙන්න ඇති......
අම්මත් එක්ක රංඩු වෙලා
රෑ අම්මට රවලා
නින්දට ගියත්
උදේ ඇස් අරින පරක්කුවට
තේක හදලා අතට
ගෙනත් දුන්නෙත් ඒ අම්මාම තමයි...
ඒ තේ එකට දාලා තිබුණු
සීනි කැටයක් ගානෙත්
අඩු නැතුව ආදරේ මුහුවෙලා තිබුණා...
තේ සුවඳ නාහෙට දැනෙද්දි
අම්මට නොපෙනෙන්න
අඬනවා ඇරෙන්න
මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ......
අම්මා කොච්චර බඩගින්නෙ හිටියත්
පළවෙනි බත් හැන්ද හැමදාමත්
හැරුනේ මගෙ පිඟාන දිහාවට...
පිඟානට වැටෙන
හැම බත් ඇටයක් ගානෙ
ඒ ආදරේ මං දැක්කා...
ඒ බත එච්චරම රස වෙන්න
ඒකට මොනවා කලවම් කළාද කියලා
දෙයියොවත් දන්නවද මං දන්නෙ නෑ...
තරු පහේ හෝටලේකින් කෑවත්
අම්මා අතින් හදාපු
සම්බෝලෙ රස වැඩියෙන් දැනෙන්නෙත්
ඒ ආදරේ හිංදම වෙන්න ඇති......
මාව බඩ ඇතුලෙ තියාගෙන
මාස ගානක් නොවිඳිනා දුක් වින්දේ
මගේ රත්තරං අම්මා...
ඈව දුර්වල කරලයි මං ඒ කුසේ
සරුවට හැදුනේ...
අම්මා පෙව්ව කිරිවලට
ණය ගෙවන්න හිතලා
ඒ දුන්න ලේ වලට
අපහාස කරන්න තරං
නරුමයෙක් වෙන්න මං ආස නෑ...
මොකද,
ඒ කිරිවලට හිලව්වට
මොන දේ කළත්
ලේ කිරි වෙන්නෙ
අම්මගෙ විතරක් නිසා.....
හැමදේම දන්න ලොකු මිනිහා
වගේ හිටියට
හාදුවක් දෙන හැටි පවා ඉගෙනගත්තෙ
අම්මා දිහා බලලා...
ඉතිං අම්මට ණය ගෙවන්න හිතන එකම පාපයක් නෙවෙයි ද?......
හිතට දරාගන්න බැරි දුකක් ආවාම
අදටත් මං දුවන්නෙ අම්මගෙ උකුලට...
මාව තුරුලට අරං මගෙ ඔළුව අතගානකොට
අම්මගෙ කුසේ ඉන්දැද්දි දැනුනු උණුහුම
මට මේ දැනුත් දැනෙනවා වගේ......
අම්මගෙ වටිනාකම කියන්න
මේ වගේ වචන දෙක-තුනකට බෑ
එහෙම කරන්න උත්සහා කරපු
මමත් පල් මෝඩයෙක්...
අම්මගෙ ආදරේ ගැන
කොච්චර ලිව්වත් මදි වගේ...
අන්තිම පද පේළිය ලියන්න හදද්දි
අතේ ඇඟිලි වෙව්ලන්නෙත් ඒක වෙන්නැති......!